කැපෙන්න වෙලාව ඇවිත්

කට ඇදෙන්න තරමේ ඈණුම් යනවා. අකුරු වලට shadow effect වැදිලා පේනවා.. අන්තිමට ඇ‍ෙඳෙන් නැගිට්ටෙ අද උදේද ඊයෙ උදේද කියන එකේ ව්‍යාකරණ ගැන හිතන්නවත් බැරි කම්මැලි කමක් තියෙනවා..

දැන්නම් කැපෙන්නම ඕනෙ..

පරක්කුවෙලා මැරතන් එකට සෙට් කර ගන්න සප් එක දුන්න හැමෝටමත්, කමෙන්ට් දාලා වතුර පාරක් ගහලා අප් කරලා ගත්ත හැමෝටමත් එකතු වෙලා මැරතන් දිව්ව හැමෝටමත් ලොකුම ලොකු ස්තුතියක් මෙන්න සකල බුජංගෙන්.

බ්ලොග් කරන වැ‍ඩෙත් අල්ලලා ගියා.. එකක් සෙට් කරගෙන සකල බුජං ළඟදිම එන්නම් ආපහු... හෙට පන්තිය සඳහා දැනට මේ වැඩේ කැප කරන්න වෙනවා.. අලුතින් කෙල්ලෙකුත් එනවද කොහෙද...

අපි ගියා!

නුවරට තියෙන ආසාව

මේක අමුතු හිතුවිල්ලක්..

මම ඕලෙවල් කරන කාලෙදි විතර තමයි මේ ආසාව හිතට ඇතුල් වුනෙ.. ඒ කාලෙ ඉඳන් පුදුම ආසාවක් තිබුනා නුවර පැත්තට. එහෙ යන්න, නුවර පැත්තෙ තැන් තැන් වල ඇවිදින්න මාර ආසාවක්.. කොච්චරද කියනවනම් මම හිතාගෙන හිටියෙ ගිය ආත්මෙ මම නුවර ඩයල් එකක් වෙන්න ඇති කියලා.

කැම්පස් වලට ඉල්ලද්දී මම පේරා පනින්න හෙන ගේමක් දුන්නා. හැබැයි මැත නොකල පාඩු තේරුනේ පේරා වල අයිටී නැති නිසා. ඒ කාලෙ කොහොමත් ඕන වෙලා තිබුනා ගෙදරින් පනින්න.

දැන් වුනත් නුවර පැත්තෙ යන්න මාර ආසයි. ඉඳලා හිටලා මම නුවර ගිහින් යාළුවෙකුගෙ ගෙදර දවසක් දෙකක් ඉඳලා රවුමක් දාලා එනවා. වැව වටේ කපුටු බෙටි වලින් බේරි බේරී, ක්වීන්ස් එක ගාවින් පල්ලෙහට ඇවිත් ආයේ පොලිස් පිට්ටනිය පැත්තෙ ගිහින් කෙල්ලොත් බල බල ඇවිදින එක තරම් නිදහසක් ගන්න පුලුවන් වෙන activities ටිකයි තියෙන්නෙ.

බොරු කියන්න ඕන නැහැ.. මට ලොකුම ලොකු හිතෙන් අයින් කරගන්න බැරි තරම් ක්‍රෂ් එකක් තියෙන කෙල්ලත් නුවර.

බර්ට්‍රන්ඩ් රසල් දැන් හිටියනම්

නෙරංජි ස‍හෝදරියගෙ පොස්ට් එකක බර්ට්‍රන්ඩ් රසල් ගෙ කියවීමක් දැකලා මට මේ හිතුවිල්ල හිතට ආවේ.

War does not determine who is right, but only who is left - Bertrand Russel

මානව හිතවාදියෙක් විදියට ප්‍රසිද්ධ බර්ට්‍රන්ඩ් රසල් පහුගිය යුද්ධෙ කාලෙ හිටියනම් ඔය උඩ කියල තියෙන කතාවම ඇති දේශද්‍රෝහියෙක් වෙන්න. හොඳ වෙලාවට මෑන්ස් 70වෙදි මැරුණෙ. නැත්තන් එක්කො අඬු කඩලා නැත්තන් පිටුවහල් කරලා තමයි මෑන්ස් නවතින්නෙ.

අල, වාත හා අල

කලින් පෝස්ට් එකේ අල කියන වචනේ පාවිච්චි වුන හැටි රවා ස‍හෝදරයා වැරදියට සෙට් කරගෙන තිබුනා.. ඒ ගැන මගේ අයිඩියා දෙක තුනක් මේකෙ ලියන්න ඕනෙ.

කැම්පස් එකේදි අල කියලා පාවිච්චි වෙන සෙට් දෙකක් ඉන්නවා.. එකක් තමයි රැග් එකට විරුද්ධ සෙට් එක. අනිත් එවුන් තමයි මෙලෝ රහක් නැති, කිසිම වැඩකට සෙට් වෙන්නේ නැති පොත් ගුල්ලො ටික.

අපේ රැගක් තිබුනට කවුරුවත් ඇන්ටිරැග් කාරයො නැහැ. මොකද තිබ්බ රැගත් මෙලෝ රහක් නැති නිසා.. ඒක සින්නො ඇඩ් එක දාන්න තියපු රැගක් මිසක් අපිට වුන සෙතක් නැහැ. අන්තිමට අපේ බැච් එකත් කැඩිලා බිඳිලා යනකොට තමයි අපිට තේරුනේ අපෙ රැගත් මහ විකාරයක් නෙ කියලා.

හැබැයි අපේ අලයොනම් අම්බානකට හිටිය. මම අර කලින් කිව්ව පොත්ගුල්ලො ටිකත් අ‍ලයො තමයි.. පිරිතක්, මලගෙයක් තිබුනොත් මුන් ටික හිටියද කියල හොයන්න නැහැ. කොටින්ම ස්ටාෆ් එකත් එක්ක වලියක් ගියොත් මුන් හැසිරෙන්නෙ ස්ටාෆ් එකේ එවුන් වගේ. "දෙනවා" කියලා තමයි අපි කියන්නෙ.

ඇන්ටි රැග් එවුන්ටත් අල කියලා කියන්න පුලුවන් එක හේතුවක් තියෙනවා. මහ එපා කරපු රැග් තියෙන තැන්වල (‍‍පේරා, ජපුර වගේ) ඒ රැගට විරුද්ධව එක ලබු ගෙඩියක වැඩක් කරන්න උන්ට බැරි වෙලා තියෙනවා. උන් කරන එකම විරෝධය තමයි විරෝධයක් නොපා තමන්ගෙ වැඩක් බලා ගන්න එක. ඊට පස්සෙ අර රැග් වෙන අසරණයොන්ට බනිනවා මෝඩයො කියලා. ඉතින් ඒ අතින් ගත්තොත් උනුත් අල තමයි.

පේරා ඇතුලෙ අල (ඇන්ටි රැග්) සහ වාත (රැග්) කියල බෙදෙන එවුන් ජපුරෙදි හඳුන්වන්නේ බොග සහ වාත කියල.

රස්සාවයි ජීවිතයයි

රස්සාව ගැනමයි දිගටම හිතෙන්නෙ..

කැම්පස් යන කාලේ අල බෝල හිටියා ලයිබ්‍රි එකෙන් හෙල්ලෙන්නෙ නැති එවුන්. මුන් දවස පුරාම කියවන්නෙත් අර ටෙක්නිකල් මහප්‍රාණ. අපි ඕවා අල්ලන්නෙ බැරිම වුනොත් තමයි.. ලයිබ්‍රියෙ ඔය විශය කරුණු වලට අදාල නැති පොත් ඕන තරම් තිබුනා.. හොඳ සාහිත්‍ය කෘති ටිකක් තිබුනා. කියවන්න වටින. හැබැයි අර ලයිබ්‍රියෙම පදිංචි වෙලා හිටපු එකෙක්වත් නිකමටවත් ඒවා කියෙව්වෙ නැහැ.

අපි ඉගෙන ගන්නෙ රස්සාවක් කරන්‍න. ඒත් රස්සාවක් කරන්න විතරද ඉගෙන ගන්න ඕන? ජීවත් වෙන හැටි ඉගෙන ගන්නෙ කොහෙන්ද? කැම්පස් එක ඒකට කියාපු තැන. පිට සමාජෙ ඉන්න ඕ‍න එකෙක්ගෙ අනුරුවක් ඔය සීමාව ඇතුලෙ ඉන්නවා.. එළ ට්‍රේනින් එක. ඊට අමතරව පොත් පත් (විශය කරුණු නෙවෙයි අනිත් ඒවා) වලින් ගන්න පුලුවන් දැනුම කියල ඉවර කරන්න බැහැ. මාටින් වික්‍රමසිංහ වගේම ජෝජ් ඕවල් ලියපු ලියවිලි වලත් ජීවිතයට වැදගත් මොකක් හරි තියෙනවා..

කැම්පස් යන්න ඉන්න කවුරු හරි, නැත්තන් දැන් කැම්පස් යන්න පටන් ගත්ත කවුරු හරි ඉන්නවනම් මට කියන්න තියෙන්නෙ "අල වෙන්න එපා" කියන්න විතරයි. රස්සාවටත් ඉගෙන ගනිං. හැබැයි මතක් කරලා ජීවිතයත් ඉගෙන ගනින්. මිනිහෙක් වෙයන්.

ආ.. අර අල සෙට් එක ලයිබ්‍රියෙන් ගත්ත දෙයක් නැහැ. උන්ගෙ තාමත් සමහරු රස්සා හොයනවා. මගෙන් ඉන්ටවීවි එකේදී ටෙක්නිකල් ඒවා ඇහුවේ බොහොම අඩුවෙන්. ප්‍රැක්ටිකල් කරලා පෙන්නන එක තමයි හුඟක් තිබුනෙ. ඒක ඉතින් (ඔබ්වියස්ලි) අලයොන්ට වැඩිය මට පුලුවන්.

හොල්මන්

හොල්මන් ගැන එකපාරටම මතක් වුනේ රෑ දෙගොඩහරිජාමෙ නිසා..

හොල්මන් ගැනනං මගේ එච්චර විස්වාසයක් නැහැ.. මට උන් හිටියත් එකයි නැතත් එකයි.. බස් එකේදි කකුල පාගන්නෙ නැත්තන් ඕනෙම හොල්මනක් එක්ක මට ගේමක් නැහැ..

හැබැයි මම යන යන තැන හොල්මන් හිටියයි කියලා කට කතා නම් අහලා තියෙනවා.. ඉස්කෝලෙ පරණ බිල්ඩිමක හොල්මනක් ඉන්නවයි කියල කතාවක් තිබුනා ඒ කාලෙ.. ඒ වුනාට අපිට නම් හිටිය එකම හොල්මන හිටියේ ප්‍රින්සිපල්ගෙ කාමරේ ඇතුලෙ.

කැම්පස් එකෙත් හොල්මන් ඉන්නවා කියලා කතාවක් තිබුන. මමනම් දැකලා නැහැ. ඔය වලියක් දවසකට මිසක්.

හොල්මන් ගැන කියන කතාවල මට හිතා ගන්න බැරි මහා උභතෝකොටිකය තමයි හොල්මන් ඇයි එහෙම හොල්මන් කරන්නේ කියන එක. මොකද හොල්මනක් අපිව බය කරා කියලා උන්ට ‍මොනවද හම්බ වෙන්නෙ? ඒ වුනාට හොල්මන් කතාවල ප්‍රධාන කාරණාව තමයි හොල්මනට අපිව බය කරන්න ඕන වුනා කියන එක.

මම හොල්මන් දැකලත් නැහැ.. දකින්න ආසාවකුත් නැහැ. උන් මට කරදරයක් නැත්තන් මම උන්ට කරදරයක් නැත්තන් එච්චරයි.. කතාවක් තියෙනවනේ. මට මගේ හැරමිටිය ඕන තරම් වනන්න නිදහස තියෙනවා.. හැබැයි ඒ නිදහස අනිත් එකාගෙ නහය ගාවින් ඉවර වෙනවා කියල. අන්න ඒක තමයි හොල්මනො උඹටත්

පුතත් තාත්ත වගේම වෙන්න ඕනෙද?

එහෙම නැත්තන් නොට්ටිගෙ පුතා කියනවලු නෙ.. මමනම් දන්නේ නැහැ ඔය කතාවෙ අග මුල..

හැබැයි මම හිතන්නෙ පුතා තාත්තා වගේ වෙන්න‍‍ ඕනෙ නැහැ.. පුතා පුතාට කැමති දේ වෙන්න ඕනෙ. තාත්ත ඒ කැමැත්තට ඉඩ දෙන්නත් ඕනෙ.. ප්‍රායෝගිකව පුතා තාත්ත වගේ වෙලා බැහැ. මගේ තාත්තා මිකැනික් කෙනෙක්. මමත් මිකැනික් කෙනෙකු වුනානම් මට අද වැලේ වැල් නැති වෙනවා. මොකද මම කැමතිම නැති රස්සාවක් ඒක. ඒ අතින් තාත්ත මට කැමති දේ වෙන්න ඉඩ දුන්න. මෙඩ්ඩෙක් වෙන්න අකමැතියි කිව්වාමවත් වැඩිය විරෝධයක් දැම්මෙ නැහැ.

තාත්ත වගේ වෙන්න ආස එකම පුතාලා සෙට් එක ඔය මැති ඇමති ජනාධිපතිලගෙ සෙට් එ‍කේ පුතන්ඩියල වෙන්න ඕනෙ.

රස්සාව

මම රස්සාවක් කරන්න අරන් වැඩි කාලයක් නැහැ.. හැබැයි රස්සා කරන එවුන් හුඟක් දිහා බැලුවම මට මාර අප්සට් ගතියක් හිතට එනවා.. 

ඉස්කෝලෙ යන කාලෙනම් අපි කැමති වුනත් නැතත් කරන්න තියෙන වැඩ ටිකක් තියෙනවනේ.. උදාහරණයකට ගත්තොත් කවුද කැමති පීරියඩ් හතරක් පුරාවටම ඉගෙන ගන්න? ඒත් අපිට ඒක කරන්න වෙනවනෙ. 

කැම්පස් එකේදී එහෙම සීන් එකක් නැහැ. මොකද කැම්පස් එකේදී කරන ඩිග්‍රිය අපි තෝරගෙන එන එකක් නිසා.. ඒත් මොන....

මම කැම්පස් ගිය කාලේ මම කරපු ඩිග්‍රිය කරපු එවුන්ගෙන් 60% විතර ඒක කලේ හරියට තිත්ත කසාය කරන්න වගේ. හරියට නිකන් රජයෙන් මුන්ට ඒ ඩිග්‍රිය ම කරන්න බල කරල වගෙ.. ඇයි බොල අකමැති නං ආවේ? 

මම කලේ තොරතුරු තාක්ෂණ උපාධියක්.. අනෙ අම්මප ඒකෙ හිටිය කෙල්ලො ටික නම් මොන කරුමයකට ඒකට ආවද මන්ද (ඔව් බන්.. මෙලෝ රහක් නෑ).. අයිටී කරන්න ඇවිත් තියෙන්නෙ අයිටී කරන්න උවමනාවකට නෙවෙයි.. උපාධියක් කරන්න ඕනෙ නිසා.. ඉතින් ඇවිත් තිත්ත කසාය වගේ ලෙක්චර් එකේ ඉඳලා ගෙදර දුවනවා.. කැම්පස් එකේ වැඩකටවත් ඉන්නේ නැහැ.. කොල්ලොන්ගෙනුත් 40%ක් විතර ඔහොම අලයො තමයි හිටියෙ. ගෲප් ප්‍රොජෙක්ට් එහෙකට එහෙම සෙට් වුනාම සඳ මෝල් වෙන්නෙ අපේ.. ඇයි කියන්න අලුතෙන් කුණුහරප මතක් කරගන්න එපැයැ.

දැන් රස්සාව කරන්න ගත්තාමත් මම දකින හුඟක් එවුන් තමන් කැමති දේ නෙවෙයි රස්සාවට කරන්නෙ. උන්ට වැඩි පඩි හම්බවෙන නිසා..

ඇයි මේ මිනිස්සු ජීවත් වෙනවා වෙනුවට එම්බාම් උන මල මිනී වගේ ජිවත් වෙන්න හදන්නෙ..? මම අයිටී කලේ මට අයිටී පිස්සුවක් තිබුන නිසා මිසක් ඩිග්‍රියක් ගහන්න තිබුන අහවල් උවමනාවකට නෙවෙයි. කොටින්ම මේ රස්සාවට පැන්නෙත් මේකට මාර ආසාවක් තිබුන නිසා.. රස්සාවට ඉන්ටර්වීව් එකේදී ලොක්කා කියපු දේ "මේ රස්සාවට වැඩිය vacancy නැහැ කියල දන්නවද?" කියන එක.. මට ඒක එච්චර ගානක් නැහැ.. මට ආස දේ මම දැන් කරනවා.. 

ටිකක් හිතන්න.. අකමැති දෙයක් කර කර සල්ලි හම්බ කරන්නෙ ‍ඇයි... හෙට මැරෙන්න... නැහැ.. මේ තව ටිකකින් මැරෙන්න කොහෙත්ම ඉඩක් නැද්ද? ඒක නිසා ටිකක් ජොලියක් දාලා ජීවත් වුනා කියලා සතුටු වෙන්න පුලුවන් විදියට ජිවත් වෙමු නේද?

රෙද්ද ඔලුවට වැටිලා ගුටි කාල තියෙනවද?

මේක නං මම හිතන්නෙ කොල්ලොන්ගෙ ඉස්කෝල වලදි නිතරම වෙන දෙයක්.. ඔය ගුරු මේසෙට දාලා තියෙනවනේ මේස රෙද්දක්.. මේකෙන් ගන්න එක ප්‍රයෝජනයක් තමයි කාගේ හරි අසරණයෙකුගේ ඔලුවට දාලා ගහල දුවන එක. අයින් කරල බලද්දි ගහපු එවුන්ගෙ රෙදි කෑල්ලක්වත් හොයා ගන්න නැහැ.. ‍

අපේ ඉස්කෝලෙ.. කොල්ලොම හිටිය තැනක්.. ඕවට පදක්කම් ගහපු පන්ති ඉඳන් තිබුනා.. ඒවා ළඟින් ඉන්ටවල් එකට යන්නෙත් හෙන හෝදිසියෙන්.. මොකද ඒ ගහන පාරවල් ලෝබ නැතුව ගහනවා..ආයේ එකක්වත් තියාගෙන ඉන්නෙ නැහැ.. 

අපි හිටපු පන්තිය තිබුනේ බිල්ඩිං එකේ තුන්වෙනි තට්ටුවේ. ඒකට වැඩිය සර්ලාවත් එන්නේ නැහැ.. මෑන්ස් ලට ඉඳන් කම්මැලියි අර පඩිපෙල බඩගාන්න. ඉතින් අපිට දොළහ වසර මාර ආතල් කාලයක්.. එක දවසක් ඉන්ටවල් එකේ නිල් පාටයි අනිත් පාටයි මේස රෙද්ද අර ගෙන දැන් පන්තියෙ හිටපු අසරණයො දෙතුන් දෙනෙකුගෙන් ප්‍රැක්ටිස් පාරකුත් දැම්මා.. රෙද්ද ඔලුවට දාලා තද කරන්න හිටියේ හෙන හැඩි දැඩි රාහුලන් කියලා දෙමළ ඩයල් එකක්.. දැන් මෑන්ස් එරිත්‍රියා හරි කොහෙ හරි ගිහින්.. අපි තමයි අත පුරෝලා දෙන්නෙ..

සෝමපාලයා (උගේ හරි නම සෝමරත්න.. හොරණ තක්ෂිලාව දාලා අපේ ඉස්කෝලෙට ආවට පස්සේ පොර සෝමපාල වුනා) හෙන පොඩියට හැදිච්ච ඩයල් එකක්. මටත් වැඩිය කොටයි.. ඒත් හෙන අණ්ඩයා.. පන්තියෙ හිටපු ඇට්ටරම එවුන්ගෙ කනෙනුත් ඌ රිංගනවා සමහර වෙලාවට. ඌට තමයි අන්තිමට ගේම දෙන්න ඉතුරු වුනෙ. වැඩේ ඉව වැටුන නිසා මෑන්ස් පණ අතේ තියා ගෙන එළියට දිව්වා.. දැන් රාහුලයා දොර මුල්ලේ හැංගිලා බලාගෙන ඉන්නවා ඌ එනකම්.. අපි ඔත්තු බලන එවුන්.. අරූ එනවද නැද්ද කියන එක බලාගෙන ඉන්න ඕනෙ.. ඉන්ටවල් බෙල් එකත් ගහලා ටිකක් වෙලා..

ඔත්තු බලන්න පඩි පෙළ ලඟට වෙලා ඉඳිද්දි (කෙළියයි) චන්දරේ (ෆිසික්ස්කාරයා) එනවා පඩිපෙළෙ.. දුවන්නත් බැහැ මාට්ටු.. මොකද දිව්වෙ කියලා දණ ගැස්සුවොත්.. එහෙමම ගල් වෙලා හිටියා.. මෑන්ස් අපි පාස් කරගෙන පන්තිය පැත්තට ගියා.. 

ඊට පස්සෙ වෙන්න තියෙන දේ.....


වෙන්න ගිහින් බොහොම නූලෙන් ‍බේරුණා.. රාහුලන් කාරයා රෙද්ද ඔලුවට දාන්න පැනලත් තියෙනව.. පිටිපස්සෙ එකා ටක් ගාල පැනල අල්ලගෙන.. චන්දරෙත් ටිකක් අන්දුන් කුන්දුන් වෙලා ඉඳලා තියෙනවා.. අපි දන්නෙ පස්සෙ.. මොකද වුනේ කියලා බලන්න ලංකරෙ ටිකක් පහු වෙලා නිසා.. 

සෝමපාලයා පන්තියට ආවේ ඉස්කෝලෙ ඇරෙන බෙල් එකත් ගැහුවට පස්සෙ.. දහතුන වසරෙදි අපි සෝමපාලයව ගල්සෝමෙ පදවියට උසස් කලා.

ඕක මට මතක් වුනේ මේ අපේ පාර්ලිමේන්තුව ගැන හිතන්න ගිහින්.. නිකන් උනුත් අපේ ඔලුවට මේස රෙද්දක් දාලා අම්බානකට කෙළගෙන යනව වගේ නේද?

බඳින්න හිතා ගෙන ඉන්නවද උඹලා?

මොනවද ලියන්නේ කියල කල්පනා කර කර ඉඳිද්දි තමයි මේක මතක් වුනෙ..

මගෙ අම්මයි තාත්තයි රණ්ඩු වෙන හැටි දැක්කාම මම ඒ කාලේ හිතුවා දඬු කදේ ගැහුවත් බඳින්නේ නම් නැහැ කියල.. මොකද දෙන්න අර රෑට ගාථා කියනවා වගේ තමයි.. සතියකට දෙපාරක්වත් වලි ෂුවර්..

පස්සේ අර තෙල මෝරගෙන එනකාලේ ඉතින් ගැටිස්සියක් හොයන කොට කෙලින්ම බඳින්නනේ හොයන්නේ.. හා හා පුරා කියල වැඩ ඇල්ලුවේ මට වැඩිය අවුරුද්දක් වැඩි කෙල්ලෙක් ගෙන.. ඒකටම වැඩේ එපා වුනාට පස්සේ (සින්දු අහ අහ ඩිප ගහල හිටියා මාසයක් විතර) බඳින එකත් ලේසි නෑ නේද කියල හිතුනෙ..

මටනම් හිතෙන විදියට බඳිනවා කියන දේ මහ උගුලක්.. දැන් බලමු.. උදේ පාන්දර නැගිටිද්දී ඇ‍ෙඳේ එහාපැත්තේ තවත් එක්කෙනෙක් ඉන්නකොට නිකන් මොකද්ද ‍වගේ නැද්ද? ඒත් ඉතින් යවන්නයැ? බැන්ඳාම එකට නිදාගන්න එක අනිවාර්ය සේවා නෙ. අනික පාරෙ යන සිරා මීටරයක් දිහා බැලුවත් ගෙදර ආව ගමන් බඩු පැකට්.. අපි බලන හැම කෙල්ලෙක් එක්කම යන්න හදන්නෙ නැහැනෙ.. හැබැයි දඬුවම් ලැබෙන්නේ එහෙම යන්න හැදුව වගේ. ඒක නම් කෙල්ලොන්ගෙ ඉරිසියාව මම හිතන්නෙ. 

ඊට පස්සේ හදමුකො පොඩ්ඩො ටිකක්.. අම්මප මම වගේ නම් හැදෙන්න ගියොත් හම ගහනවා. මොකද මම දන්නවනේ මගේ හැටි.. ඒව කොහෙද මාත් එක්ක. පොඩ්ඩො හදන්න පටන් ගත්තට පස්සේ ගෙදර උන්දැගේ ලව් එකත් ටිකක් බහිනවා.. බෙදා හදා ගෙන ගන්නත් වෙනවා.. වෙනදට වැඩිය කඩා පනින්නත් බලනවා.. හපො.. අන්තො ජ‍ටා බහි ජටා.

පාටියකට ගිහින් ෂොට් එකක් දාන්න බැහැ කන් කෙඳිරිය පටන් ගන්නවා.. අඩුම ගානේ වැටෙන්න ගහනකොට තියෙන ආතල් එකවත් ගන්න නැහැනෙ. හීනියට අඩිය දෙක ගානේ ගහන්න black label එකක්වත් තියා ගන්න වෙන්නේ නැහැ පොඩ්ඩො ටික හැදෙන්න පටන් ගත්තාම.. මොකද මම වුනත් කැම්පස් යන කාලෙත් තාත්තගේ Vat 69 එකයි Teachers එකයි හොරෙන් ගහනවා මතකයි.. 

ඊට පස්සෙ තවත් ජර මර ගොඩයි.. ඉස්කෝල හොයන්නයි.. උගන්නන්නයි.. කෙල්ලො කොල්ලො හොයල දෙන්නයි. බන්ඳවන්නයි.. අරකයි මේකයි.. මේවා කරලා ඉවරවෙන කොට මගෙ ජීවිතෙ ගෙවිලා තියෙයි.. එතකොට රස්සාවෙන් අස්වීම දෙන්නේ කින්ඩියට වගෙයි.. හරියට අර කාන්තාරෙ මැදදි රත්තරං කෝප්පයක් දෙනව වගේ වැඩක්.. මොකද එච්චර වෙලා තිබිලත් ෆන් එකක් ගන්න ජීවිතෙ ඉතුරු වෙන්නෙ නැති එකයි.. රිටයර් වෙලා ටික කාලෙකින් වල කජ්ජ ගහයි..

මේ හැම එකක් ම සලකල බලලා මමනම් හිතාගෙන ඉන්නේ බඳින්නේ නැහැ කියලා.. හැබැයි එක චූටිත්තං සියුම් ඉතාම ඉතා පොඩි කොක්කක් තියෙනවා.. ඒ තමයි දැනට ඉන්න කෙල්ල. එයාටනම් බඳින්න ඕනෙමලු.. ඔය කියපු දේවල් කරද්දි ලු ජීවිතෙ ෆන් එක.. එයාට නම් ඉතින් මොකද............

හරි.. ඊළඟ විනාඩි පහලව තෙක් වතුර ගහමු...

පාන් පරිප්පු

අලුත් කැබිනට් එකකුත් දැම්මලු.. ඒත් තාමත් මම පාන් සහ පරිප්පු කන්නේ..


පාන් පරිප්පු කියන්නේ රටේ ජාතික ආහාරය වගේ සීන් එකක්... හුගක් අය අද රෑට පාන් කමුද කියනවා කියල මට ෂුවර්.

පානුත් මාර කෑමක්.. දූපතක අතරමං වෙන කෲසොත් පාන් ගෙඩියක් හදා ගන්න බුදු ගේමක් දෙනවා වගේ පොතෙ තිබුනා මතකයි. ඒත් ඒකට පරිප්පු සෙට් වෙන්නේ මම හිතන්නේ ලංකාවෙදි. අපි කොහොමත් අමුතු විදියට කෑම කන්න දක්සයි..

ඇත්තම කියනවනම් මම පාන් පරිප්පු කන්නේ ආසාවට.. ඕන කම තිබුනනම් වෙන මොකක් හරි හදාගෙන කන්න තිබුනා.. ඒත් වෙන කරන්න දෙයක් නැති නිසා පාන් පරිප්පු ගිලින කීයක් ගිය අට වෙනිදා ඡන්දෙ දැම්මද දන්නෙ නෑ.. ඒ ගැනවත් (ඒ කියන්නේ අඩුම ගානේ පාන් පරිප්පු ගැනවත්) හිතලා මේ අලුතින් පත් වෙච්ච කැබිනට් ගැන්සිය රටට වැඩක් කරනවනම් හොදයි.

තව පෙති දෙකක් ඉතුරුයි.. වැඩේ දීලා එන්නම්.. මේ ඇඩ්මින් කෙනෙක් වත් මේල් එකක් එව්වේ නැහැ සෙට් කර ගත්තා කියලා..

ටියුබ් ලයිට්


බ්ලොග් නම් එක එක ඒවා කියව කියව කාලයක් හිටියා... පස්සේ කාලෙකදි වැඩේ මග ඇරුනා. අද ඊයේ තමයි පත්තු වුනේ මැරතන් එකකුත් තියන්න යනවා කියලා.. ගෙදර ආපු ගමන් කලේ ඒක ගැන හොයපු එක. පස්සෙ තමයි දන්නේ හොයන අස්සේ ඒකට සෙට් වෙන්න තියන කාලෙ පැනලා කියලා.. 

කොහොමෙන් කොහොම හරි එතන චැට් රූම් එ‍කෙන් විස්තර හොයාගෙන (ssudaraka, rana, yogee රොක්ස් හරිද.. අයි ලව් යූ) සෙට් වෙලා ලියන පලවෙනි ලියවිල්ල. මම බ්ලොග් ලියන්‍න පටන්ගන්නෙම මැරතන් එකකින් (හික්ස්)

කොහොම හරි මගේ විස්තර ටිකත් කියන්නම්... මම සකල බුජං.. ඒක මමම දාගත්ත නමක්.. ඒක නිසා ඉතිහාසය අහගෙන එන්න එපා... ඉස්කෝලෙදි නම් වල් පාත්තයා කියල කිව්වා.. කැම්පස් යන කාලෙ තව එකක් කිව්වා.. වැඩ කරන කාලෙදි තියෙන තනි කමට මම මටම නමක් හදා ගත්තා.

මම ඉස්කෝ‍ලෙ ගියෙ නගරෙක තියෙන ගමේ ඉස්කෝලෙකට.. එතනින් ශිෂ්‍යත්වෙ පාස් වෙලා (මගේ අවුරුද්දෙ ඉස්කෝලෙන් පලවෙනියා මම හරිද) ගියා ලොකු ඉස්කෝලෙකට.. එතනිනුත් කොළඹ කැම්පස් එකට පැනලා අවුරුදු ගානක් ලැගලා පැන්නා ජොබ් එකකට. දැනට ජාලකරණය පැත්තෙ පොඩි ජොබක් කර කර ඉන්නවා.

තව විනාඩි පහලවකින් මොනව හරි දාන්නම්.. මාව සෙට් කර ගත්තද කියන්නවත් දන්නේ නැහැ... සෙට් කර ගත්තනම් උඹලා පට්ට!

(ටියුබ් ලයිට් කියලා දැම්මේ මැරතන් එකත් පත්තු වෙන්න ටිකක් වෙලා ගිය නිසා)